Jul 6, 2011

ගාල්ලේදී අපි එක් Rock වු දා (Unrated Version)

සිංහල බ්ලොග්කරුවන්ගේ දකුණු අත වගේ ඉන්න ගාල්ල මාතර සිංහල බ්ලොග්කරුවෝ පහුගිය දවසක එකට සෙට් වු‍ණා. මේ ඒ පිළිබද වාර්තා වැඩ සටහනකි.


පූර්විකාව
අන්තර්ජාලයේ එක්එක් අහුමුලු වලට වෙලා බ්ලොග් ලියන මිතුරන් හමුවෙන්න හිතේ ලොකු වුවමනාවක් තිබුණා.විශේෂයෙන්ම ලගපාත අය. ඉතිං මං ඔය ගැන හිතාගෙන මනෝ ගහගෙන ඉන්න අතරේ හිම හංසි නගා මාව දැනුවත් කලා මෙන්න මෙහෙම වැඩක් සෙට් වෙනවා කියලා. ඉතිං හිම හංසි නගා බලෙන්ම වගේ මමත් ඔය කණ්ඩායමට ඇදලා දාලා බලෙන්ම මමත් මේකට මූට්ටු කලා(ඒ වුණාට එයාට පින් සිද්ධවෙන්න තමයි වැඩේ වුණේ මටත්) පස්සෙ මට කිව්වා අනුෂ්ක ලක්මාල් අයියා තමයි වැඩේ සංවිධානය කරන්නේ කියලා. මම බැලුවා මොකාද මේ අනුෂ්ක කියලා. බැලිනං මේ අපේ වල් හාවා හෙවත් බනියා නේ. බනියා ඉතිං වැඩක් බාරගත්තොත් අනිවා නිකං කිරිගහට බල්ලො පැන්නා වගේ කරන බව දන්න නිසා මමත් හදවතින්ම හා අග්න්‍යාශයෙන්ම වැඩේට බැස්සා. කොහොම හරි දින ලංවෙනකං ගාල්ලේ වැසියෝ කණ්ඩායමේ කමෙන්ට් දදා විකාර කර කර වැඩේට සෙට් වුණා. මම ඒ කණ්ඩායමේ හිටපු එවුන්ගෙන් අදුනගෙන හිටියේ වත් අක්කා හෙවත් බියුටිපුල් මයින්ඩ්. බනියා හා හිම හංසි විතරයි. අනිත් එවුන් නිකං මැජික් වගෙයි මට. කොහොමහරි මුන් එක්ක සෙට්වෙලා මට අතවරයක් වෙයි ද කියලා හිතුනත් පස්සේ පුරුස ශක්තිය අරගෙන වැඩේට බැස්සා. කොහොමහරි වැඩේ යෙදිලා තිබුනේ 2වැනිදා උදේ 11ට නේ. හිම හංසි මට කිව්වා ගාල්ල පොලෝසිය ගාවට එන්න..මම එනකං එයා බලාගෙනම ඉන්නවා කියලා. එහෙම කිව්වම දෙයියනේ නොගිහිං පුළුවන්ද. ඊට කලින් දවසේ එෆ්.එම් එකේ මැච් එකේ කොමෙන්ට් කරලා ගෙදර යද්දිත් 12. එදා හීනෙනුත් පෙනුනා...ගාලු කොටුවෙ ගල් බැම්මේ- ඈත පෙනෙන සිතිජ ඉමේ- පාට සරුංගලයක හැඩ බලන හැටි...

මගේ සම්ප්‍රාප්තිය
උදේ පාන්දර ගෙදරින් දෙන ඕඩර් අනුව දහසක් රාජකාරි ඉවරකරලා යන්තං 10ට ගෙදරින් පිටත් වුනා. කොළඹ-මාතර බස්කාරයාට පිං සිද්ධවෙන්න වෙනදා විනාඩි 45න් ගාල්ලට යන එකට එදා පැය 1 විනාඩි විස්සක් ගියා. මගදිම බනියට කෙටි පණිවිඩයක් යැව්වා...මම එනකං හිටු කියලා...අනේ පව් අහිංසකයා බයවෙලා මට කෝල් කරලා අහනවා කොහේද ඉන්නේ කියලා..ගාල්ල වටරවුම පහුවෙද්දි කොක් ලුක් එකක් දාලා බැලුවා ගාල්ල පොලෝසිය ඉස්සරහා හිම හංසි ඉන්නවද කියලා..අම්මපා එක හිම කැටයක් නෑ..සීයක් විතර අපරාධ කාරයෝ ඉන්නවා..ඔතනිං ඒ දැරිවි හොයන එක නිකං මිෂන් ඉම්පොසිබල් වගේ නිසා මං බස්‍ එකෙන් බැහැලා බනියට කෝල් කරලා ඇහුවා කොහේද කියලා...මචං අපි කොටු දොර ගාව...කීයක් විතර ඉන්නවද..මචං විස්සක් විතර ඉන්නවා...ඉතිං මට ත් හෙන හැපී..විසිල් පාරකුත් ගහගෙන නිකං රැජිනි කාන්ත් වගේ බෑග් එකත් කරකව කරකව කොටුව පැත්තට ගියා.

බනියාගේ හමුව
යකෝ මෙන්න කොටු දොර ගාව ඉන්නවා දඩාර් ‍පොරක් තව එක එක සයිස් අංගනාවෝ හතරක් වටකරගෙන.අනේ මට නිකමට හිතුනා මේ නං බනියම තමයි කියලා. අනේ පව් බනියත් හිනා වුනා..මූ විස්සක් ඉන්නවා කියපු එකට දෙන්න හිතුනා හොබ්බට තිහක් විතර..ඒත් පව්නේ ජාත වුණත් සංවිධායකයා ඌනේ කියලා හිත හදාගෙන එතනට ගියා.ඉතිං බනියා ඇරුනම වත් අක්කා බුකියේ හා බස්වල මීට් වෙලා හිටපු නිසා මගේ නම දිගඇරිය ගමන් අදුනගෙන...ආ මේ මාතර මල්ලි නේද කියලා මාව සාදරයෙන් පිලිගත්තා...වත් අක්කා එක්ක එයාගේ නංගිත් හිටියා සයිලන්ට් එක ඔබාගෙනම...ඔතන හිටපු අනිත් බාලිකාවෝ දෙන්නා ඇස් දෙකෙන් මාව සර්ච් කරනවා හරියට ට්‍රොජන් දැකපු වයිරස් ගාඩ් එකක් වගේ..ඉතිං මං ඒ දෙන්නත් එක්කත් ආදරෙන් හිනා වෙලා විස්තර කිව්වම...නයිස් ටු මීට් යූ  ද මොකක්ද නොතේරෙන බාසාවකින් කිව්වා...මම ඉතිං ...හා කමක් නෑ කමක් නෑ කියලා ෂේප් වුනා..එතනිං ටිකක් හීන්දෑරි කෙනා හිම හංසි කිව්වම මට මතක් වුනා පොලිස් පොල්ල..ඒත් ඉතිං මාත් එක්ක චැට් එහෙම කරලා පිට් වෙලා හිටපු නිසා කට වහගෙන හිටියා. අනිත් කෙනා..විකසිත ආදර ප්‍රාර්ථනා හෙවත් සිත් අහසේ අයිතිකාරි කියලා දැනගත්තා..නයි කයිද සිත් අහස කිව්වලු...එතකොටම මට ඇහුනා ලාවට වගේ බනිසා සැනසුම් සුසුමන් පාවීලා සිංදුව සුසුම් හෙලමින් කියන විදිය.

වත් අක්කාගේ පිටව යාම හා අපේ කොටුව මත ගමන 
හම්බන්තොට වරාය හදල ඉවරකරනකං ඉන්න බැරුව නැවක් බලන්න ඕන කියලා කෙදිරි ගගා හිටපු වත් අක්කයි එයාගේ සයිලන්ට් ඔබාගෙනම ඉන්න නංගියි දෙන්නා ගාලු වරායට ආපු මෝටර් බෝට්ටුක් බලන්න ගියා. ඉතිං ඊට පස්සේ තමයි බනියා මං ඉදිරියේ බැරෑරුම් ප්‍රශ්නයක් තිබ්බේ...අපි දැන් මොකද කරන්නේ...මූ මරු සංවිධායක මගෙන් අහනව කරන දේ..ඉතිං මේ වෙලාවේ ස්ථානෝචිත අහවල් එක පාවිච්චි කරලා මම කිව්වා අපි කොටුව බලමු කියලා. ඉතිං මම ඉස්සරහින් යද්දි පස්සෙන් බනියයි අනිත් ඩබලයි එනවා පස්සේන්.


කල්හාරාගමනය හා කොටුව තාප්පය මත ගමන
 අපි ඉතිං කොටු තාප්පේ අස්සේ තියන බංකුවකට වෙලා රටේ නැති වල්පල් කතාකර කර ඉන්නවා.කතාකර කර ඉන්නවා කිව්වට හිම හංසියි සහ ප්‍රාර්ථනා ගේ පුරාජේරු අහගෙන ඈනුම් ඇර ඇර ඉන්නවා. බනියා පෝන් එක කනේ ගහගෙන හලෝ හ‍ලෝ ගගා ඉන්නවා. ටිකකින් එතනට ආවා එකදාස් නවසිය විසිගනන්වල චැලියක හද්ද පරණ හෙල්මට් එකක් දා ගත්තු පොරක්..මම පැනපු ගමන් ඇහුවා..කව්ද මචං උඹ කියලා...මචං මම ගයාන් ගල්ආරි....ගල් ආරි..යකෝ එහෙමත් නම් තියනවද..මම විකාර වුනා...නෑ නෑ බං මම ගයාන් කල්හාර...ඉතිං ගයාන් අපේ සෙට් එකට සෙට් වුනා ඉක්මණට. ගයාන් හොද එකා..ගාලු කොටුව තමන්ගේ පෙම්වතියගේ දකුණු අත වගේ දන්න එකෙක් සෙට්වුණ නිසා අපි තීරණේ කලා ගයාන් අනුගමනය කරන්න..ඒ කියන්නේ පොරගේ පස්සෙන් යන්න


මුහුද යටට ගිය ගමන්ක්..සමුදුර හොල්ලන් අපි
 ඉතිං ගයාන්ගේ යෝජනාවක් බනියාගේ ස්ථීර කිරීම මත අපි සමුද්දර කෞතුකාගාරය බල්න්න ගියා. එතනදි ටිකට් ගන්න ගිහින් බනියා කියපි ඌට පාසල් ටිකට් එකක් දෙන්න කියලා..එතන අයියා කෙනෙක් කියපි මල්ලි ඉස්කෝලේ යන්නේ ඔය රැවුලත් එක්කද කියලා..අහිංසක බනියා විලිබියෙන් ඇඹරෙන්න ගත්තා...කොහොමහරි ටිකට් අරං අපි යනවා ඇතුලට. ඇත්තටම වැදගත් දේවල් ගොඩක් තිබුණා බලන්න. මගේ දැනුම උ‍පයෝගී කරගෙන අපේ සෙට් එකට එතන තිබුණු දේවල් ගැන දීපු ලෙක්චර් එකට කෞතුකාගාර කාර්ය මණ්ඩලයේ අයට තනි ඇහැට ඇඩිලා තිබුණා..පව් උන්ගේ ජොබ් එකත් ගහල යනවා තව ටිකෙන්..ඔය අතරේ සම්බන්ධීකරණයේ දෝශයක් නිසා බනියා ගැඹුරු මුහුදේ ජලය සේ කැළඹිලා හිටියා..ගොඩක් දේවල් බලලා අපි එලියට ආවා...

පොඩි මෑන් හෙවත් රිද්ම ආගමනය

 අපි එළියට එද්දිම මෙන්න තව පොරක් එනවා අමුතුම විදියට..දැක්ක ගමන් මට හිතුනා පේස්බුක් අයිතිකාරයා මාක්ම තමයි කියලා. පේස් බුක් ෂර්ට් එකක් එහෙම ඇදගෙන. කොට කලිසමක් ගහගෙන පරණ සුද්දෙක් ගෙදරින් එළෙව්වම වගේ අපි ඉන්න තැනට ආවා....මං කෞතුකාගාර කීයක් බැලුවද නිකං ටිකට් අරගෙන...පිස්සුනේ කෙලින්නේ උඹලා...ආදරණීය වදන් වලින් ආමන්ත්‍රණය කරපු පොඩි මෑන් අපේ සෙට් එක අදුනගත්තා..මිනිහත් හරි සිරා පොර..පොඩි මෑන් කියලා සයිබරේ දැක්කට අදනේ පිට් වුනේ..කොහොම හරි වයර්වල අවුලක් තිබුණත් හොද එකා.අපි සෙට් එකම තීරණේ කලා නිදහස් තැනකට ගිහිං නිල වශයෙන් එකිනෙකා අදුනගන්න. ඒ අනුව අපි සංක්‍රමණය වුනා රෙපෙරමාදු පල්ලිය ගාවට


කිඩෝ හුස්නි හා කළුමල්ලි කඩාපාත් වීම
 මෙන්න එතනට යද්දි වගේම එනවා ‍පොඩි කොලුපැටියෙක්. සෙනසුරාදා මොන්ටිසෝරි නිවාඩු එකේ මම බැලුවා මොකද මූ මේ කොටුව ඇතුලේ කරන්නේ කියලා. මෙන්න මේකා තඩි බෑග් එකකුයි..කීං කීං ගාන සපත්තු දෙකකුයි දාගෙන අපේ පැත්තට එනවා...මචං මම කීඩෑවා හෙවත් කිඩෝ...අඩෝ මේ කිඩෝ නේ...සයිබරේ මහා සද්දයක් තිබුණට මූ තාම කටේ කිරි සුවද ගියපු නැති කොලු පැටියෙක්නේ ..ආපු ගමන් මොකක්ද අමුඩයක් අල්ලගෙන බනියා කිඩෝ මරං කන්න හැදුවා..එතකොටම අමුතු විදියේ බයිසිකලේකින් නිවුන්නු දෙන්නෙක් ආවා..මචං ‍මම හුස්නි මේ කළු මල්ලි...අම්මට උඩු හුස්නි කියන්නේ ගාල්ලේ වැසියෝ කණ්ඩායමේ පොපියුලර් චරිතයක්නේ...අපි ඉතින් අදුනගත්තා..ඒ වගේම කස් ගුණසේකර හෙවත් කළු මල්ලිත් දන්න කියන පොරක් නේ...අයි ලව් යූ රිච්මන්ඩ් කියලා ෂර්ට් එකෙන්ම ඉස්කෝලෙට ලව්කරන කළු මල්ලි දැක්කම අපේ සෙට් එකට තනියම හිනා...


ස්වයං විස්තරකරණය හෙවත් බේගල් සංස්ථාව
 ඊලගට ම‍ගේ යෝජනාවක් අනුව කට්ටියම හදුනාගන්න තීරණය කලා. ඉතිං එකිනෙකා ඉස්සරහට ඇවිත් තමන්ගේ කෙරුවාව කියන්න ඕන. ප්‍රාර්ථනා.හිම හංසි.ගයාන්.පොඩිමෑන්.කිඩෝ.මම.හුස්නි.කළු මල්ලි හා බනියා තමන්ගැන එක එක විස්තර කිව්වා. අහං හිටපු අය පුරස්න අහලා අමාරුවෙත් දැම්මා..ඇත්තටම ඒක හොද අවස්ථාවක් තමන්ගේ පට්ටන්තරේ දිග ඇරලා දාන්න..ප්‍රාර්ථනා වගේම අපේ පොඩි මෑන් ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා..ඒ අතරේ මෙන්න බෝට්ටුව බලන්න ගියපු වත් අක්කයි එයාගේ සයිලන්ට් ඔබාගෙන ඉන්න නංගියි ඇවිත සෙට් වුනා...ඉතිං විවිධ මඩ හා පරණ සිදුවීම් රාශයක් හුවමාරු වීම හා සුහද මිතුරුකම් වර්ධනය කරගන්න කස්ටියටම නිදහස් වේලාවක් ලැබුණා.


දවල් කෑම හෙවත් අනාගෙන කෑම
 උදේ ආපු වෙලාවේ ඉදන්..ගිනියි ගිනියි ගිනියි කිය කිය බඩ අතගගා හිටපු හිම හංසිට හා ඒකට පැති සහය දිපු ප්‍රාර්ථනාගේ විකාර බලං ඉන්න බැරුව අපි තීරණේ කරා දවල් කෑම ගේන්න. මං මැදිහත් වෙලා කස්ටියගෙන් මුදල් එහෙම එකතු කරලා කෑම ගේන්න තැනක් කල්පනා කලා..හුස්නි පැනුපු ගමන් මොකක්ද ඉන්දියන් කුඩාරමක් ගැන කිව්වත්..මූ අපිට මොන වා කවයිද කියලා ෂුවර් නැති නිසා ගයාන් වැඩේ බාරගත්තා(ඒකා ෂුවරුත් නෑ අමුතුවෙන්) ඉතිං ගයාන් එක්ක සහයට ගියේ කිඩෝ..‍පොඩි එකාට කරදරයක් වෙයි කියලා හිතුනත් කමක් නෑ ඕකගේ කට වැඩි‍යිනේ කියලා හිත හදාගත්තා..ගයාන් සහ කිඩෝ කෑම ගේන්න ගිය අතරේ අපේ එවුන් එක එක විකාර කරනවා.ගස් උඩ නැගලා වදුරෝ රැලක් වගේ ‍පින්තූර ගහනවා. අපේ එවුන්ට වදුරොත් හිනාවෙනවා. ඉතිං ඔන්න කෑම අරං ආවා...දැන් කිඩෝ අත් දෙකට පැකට් දෙකක් අරං මගෙන් කැමති එකක් ගන්න කිව්වා..මම බැලුවා දෙවර්ගේ මොකක්ද කියලා.එකක් චිකන් අනික වී.ඕ.ජී කියලා..අම්මට උඩු මම පොඩි මෑන්ගෙන් ඇහුවා ඒ මොකක් ද කියලා.මිනිහා කියපි ප්‍රසව හා නාරි මොකක්ද මගුලක්.මට කෑමත් ඇතිවුනා. පස්සේ තමයි කිඩෝ කිව්වේ ඒ වෙජිටබල් හා මාළු කියලා..අපොයි මගුල..ඉතිං අපේ එවුන් බිම දිගාවෙලා එක එක විදියට කෑවා. මමයි පොඩි මෑනුයි ‍පොටෝ ෂොට් වලින් වහන්වෙලා පරණ කතාවක් දාගෙන කෑවා..ඒකත් මරු කෑම.

වෙරළ දෙසට ගිය ගමන

 කාලා ටිකක් හිටිද්දි මෙන්න පොරක් දුවගෙන එනවා හති දා ගෙන..ඇවිත් පැය බාගයක් විතර හති දාලා අමාරුවෙන් කිව්වා...මච..ම....ම...ප්‍රර්....මු...ඛ කියලා..ආ මේ දන්න එකෙක් නේ..ඇයි දන්නෑ දිව්වේ නේ කියලා. ඒත් මූ කිව්වේ නෑ හේතුව. පස්සේ ප්‍රමුඛයත් සෙට්වෙලා පොටෝ ගත්තා සෙට් එක අදුනගත්තා. මිනිහා හරි හොද පොරක්. ඉතිං පසසේ කට්ටියගේ අදහස වුනේ වෙරළ පාගන්න යන්න..කාපු බීපුවා බහින් කරිජ්ජ පොඩ්ඩක් පාගන්න කට්ටියම සෙට් වුනා. ඒ යන ගමනේ කියපු කතා සහ හුවමාරුවුනු මඩ අනන්තයි..හිම හංසි කෑමට දීපු රුපියල් 50ක බැලන්ස් එක ලැබුනේ නෑ කියලා මට දෙවතාවක්ම ද්වේශ සහගත ලෙස පහර දුන්නා..ඒ විතරක් නෙවෙයි නහයෙනුත් අඩන්න ගත්තා.කොහොමහරි වෙරළ ගාවට යද්දි කට්ටියටම ටිකක් මහන්සියි.


අයිස්ක්‍රීම් දන්සල අනුග්‍රහය සත්ගුණවත් වත් අක්කා
 ඉතිං මහන්සියට පිළියමක් ලෙස සත්ගුණවත් දානපති වත් අක්කා පිංවතිය අපිට හිම කිරම දන්සලක් දෙන්න සූදානං උනා. ඒ අදහසට සේරම කැමති වුනා. ඒ ත් හිම හංසිටනං හිම කිරම එපාලු. කෑම කාලා අතුරුපස එයාට ඇලජික්ලු..අනේ අනේ නයි කයිද අයිස්ක්‍රීම් කිව්වලු..කොහොම හරි වත් අක්කට ස්තූතිකරලා අපි පඩිපෙලක සෙට්වෙලා අයිස් ක්‍රීම් කනවා. ඔය අතරේ ජීවිතේ පලවෙනි වතාවට ශිෂ්ට සම්පන්න ලෙස අයිස්ක්‍රීම් කන්න ගිය ප්‍රාර්ථනා අයිස් ක්‍රීම් එකෙන් බාගයක් තමන්ගේ සුදුපාට හැට්ටයටත් ඉතුරු ටික සෙරෙප්පු දෙකටත් කවා තිබුණා..බලන්න කොච්චර පරාර්ථකාමී ද ප්‍රාර්ථනා..ඉතිං එතනත් වැඩි හරියක් පිස්සු තමයි.

වෙරළේ සිප්පි කටු හා උඩ පැන ගැසූ පොටෝ

 රැල්ල පාගන්න කියලා ආපු අපේ සෙට් එකම බනීගේ යොජනාව අනුව ලස්සන පොටෝ ටිකක් ගත්තා. ඇත්තටම බනියා ඡායාරූපකරණයේ දක්ෂයි කියලා පෙන්නන්න පුළුවන් ලස්සන පොටෝ ටිකක් ගත්තා. හුස්නි.කිඩෝ හා කස් ලස්සනට ඒ පින්තූරවලට හිටියා. ඒ අතරේ රැල්ල පාගන්න ගිහින් හා සිප්පි කටු ඇහිදින්න ගිහින් ප්‍රාර්ථනා හා හිම හංසි වටිනා ඩෙනිම් දෙක තෙමාගෙන පශ්චාත්තාපයට පත්වෙලා හිටියා. ගෙදර ගියාම ගෙදර අය අහන ඒවට උත්තර දීමේ වගකීම ගත්තු අපේ අය විවිධ උත්තර දුන්නා..ඒවා මෙතන කියන්නත් ලැජ්ජයි වගේ..ප්‍රමුඛයා මාවත් උස්සගෙන වතුරේ දාලා පිස්සු නැටුවා..හරි සොමි..වැලේ පාවී රැල්ලේ බිහිවෙනා සංගීතෙන් අප හමුවුනා ඒ වෙලාවේ... ලයිට් හවුස් එක ගාව සුන්දර මුහුදු තීරේ අපේ මතක ඉතිරි කරලා අපි ආවා කොටු බැම්ම මතට


සන්ධ්‍යා අප්සට් ගීත එකතුව
 වත් අක්කාට යන්න හදිස්සියි කිව්වත් සිංදුවක දෙකක් කියන්නම ඕන කියලා හුස්නි යෝජනා කලා. කලාවට බර මම ඒ අදහසට එකග වුනා. අපි බිම වාඩිවෙලා මරු සිංදු ටිකක් කිව්වා...මම.පොඩිමෑන්.කිඩෝ ඇතුලු ජනප්‍රිය ගායකයින් රැසක් සෙට්වුනා...දුරකතනයකින් සිංදුවේ තාලෙට ගියපු හංතානේ කදු මුදුන සිසාරා සිංදුව...කව්ද කැපු‍වේ අපෙ ආනමාලු කැන සිංදුව...ගද සුවද දෙකම නැති එකම කලිසමක් සිංදුව වගේ සිංදු හෙනට නැගලා ගියා...අපේ කෙල්ලෝ ටිකත් ලොකු සහයක් දුන්නා..ප්‍රමුඛගේ ඉල්ලීමට අනුව කියපු මුලදි බැන්ද ආදරයට සිංදුවට කිඩෝ මලයා ටිකක් හැගීම්බර වුන නිසා මම සිංදුව මගින් නැවැත්තුවා...

වෙන්වෙන නිමේශය...

 ඉතිං සිංදුත් කියලා ඉවරවෙන කොට වෙලාව හතරත් පහුවෙලා ඉතිං අපි හැමෝටම වෙන්ව යන නිමේෂයේ දුක දැනෙන්න පටන් ගත්තා. කිඩෝ මල්ලි. බනියා.ප්‍රමුඛ බොහොම සංවේදී විදියට ඒ අවස්ථාවේ හිටියා. අන්තිමට හැමෝම තම තමන්ගේ දුරකතන අංක හුවමාරු කරගත්තා. ගොඩක්ම දුක දැනුනා. එක පවුලක හැදිලා වැඩුණු සහෝදර සහෝදරයෝ පිරිසක් වෙන්වෙලා යනවා වගේ හැගීමක් හදවතේ පතුලටම දැනුනා. ඇඩෙන්නම වගේ ඇස් කෙවෙනිවලට කදුලු ආවත් ආයෙත් දවසක් මුණගැහිලා කොහේ හරි චාරිකාවක් යමු කියන යෝජනාව කලින්ම සම්මත වුනු නිසා කට්ටියගෙම හිතට යංතං හරි සැනසීමක් ඉතිරිවුනා..ජීවිතේ කාලයක් තිස්සේ හදවතින් බැදිලා හිටපු පිරිසක් එකට මුණ ගැහිලා සතුට බෙදාගෙන වෙන්වෙලා යන දුක ඉවසගන්න බැරුව වගේ ගාලු කොටුව පැත්තෙන් බැහැගෙන යන ඉරත් දුක්බර ලීලාවක් පෙන්නුවා. කට්ටියගෙම කච කච නැවතිලා හැගීම්බර මොහොතක් විතරක් ඉතිරිකරලා තියෙද්දි කට්ටියම අන්තිම විනාඩි කීපය ගෙවමින් ගාලු කොටුවෙ සුවයෙන් ගිලිහිලා නගරය පැත්තට එන්න ආවා.


සමුගැන්මේ වේදනාව අමතක කල ලොලි පොප්
 අයිස් ක්‍රීම් කන්න බෑ කියලා නහයෙන් අඩ අඩ හිටපු හිම හංසිගේ සිත් සතුටින් උතුරවමින් කව්රුහරි පිංවතෙක් වෙන්වයන නිමේශයේ දුක අමතක කරන්න ලොලි පොප් සංග්‍රහයක් දුන්නා. හුස්නි මල්ලි ස්ට්‍රම්ප් ටික අතින් අරගෙන හෙන ගේමක් දීලා තමයි ඒකේ කොලේ කඩා ගත්තේ. රසවත් ලොලිපොප් රසවිදින ගමන් වෙන්වීමේ දුක මොහොතකට අමතක කරපු අපි ගාලු කොටුවෙන් එලියට ආවා.

වෙන්වීම කොතරම් දුකක්ද..හදවත්වලට
 කොටුවෙන් එලියට ආපු හැමෝගෙම මූණු දුකින් බරවෙලා තිබුණා..බනියා.කිඩෝ.හුස්නි.කළුමල්ලි සහ ප්‍රමුඛ බස්නැවතුම පැත්තෙන් යන නිසා වෙනමම කණ්ඩායමක් බවට පත්වුනා..මම.පොඩි මෑන්.ප්‍රාර්ථනා හා හිම හංසි වටරවුම පැත්තට එන වෙනමම කණ්ඩායමක් වුනා. ඒක අන්තිම හමුවීම නොවුනත් තාවකාලික වෙන්වීමේ දුක හැමෝටම තදින් දැනිලා තිබුනා. අඩන්න බැරිකමට හැමෝම හිනායන්නේ වත් නැති විහිලු කරලා බොරුවට හිත සතුටු කරලා දුක තුනී කරගත්තා..අන්තිමට බනියා.ප්‍රමුඛ.හුස්නි.කස් බොහෝම ලයාදරව මගෙන් සමුගත්තා. කිඩෝ මලයා බොහෝම හැගීම්බරව මාව බදාගෙන සමුගනිද්දි උගේ හදගැස්ම වැඩිවෙලා දුක ඉතිරෙන්න ඔන්න මෙන්න කියලා මගේ ලේ නහර වලටම දැනුනා..කියාගන්න බැරි දුකක් ඉතිරි කරලා අපි වෙන්වුනා..හැමෝම ආයෙත් දවසක් හමුවෙන බලාපොරොත්තුවෙන් වෙන්වුනා...


සයුරේ රල සේ- අහසේ තරු සේ- මිතුදම් පවතී ලෝ සැමදා
ගාල්ල නගරය උඩින් හමාගෙන යන සැදෑ සුලග අපි වෙනුවෙන් එහෙම ගායනාවක් කලා...

 
 සොදුරු මතක හිත තියාන ගියා මහිත දුරට
 හිම හංසි. පොඩිමෑන් හා ප්‍රාර්ථනා ගාල්ල පොලීසිය ලගදි බොහොම හැගුම්බර විදියට වෙන්වෙලා ගියාම තමයි හදවතට ගොඩක්ම පාළුව දැනුනේ. එදා දවසේ එකතුවුනු හදවත් එක එක පැත්තට විසිරිලා යද්දි මමත් මගේ නැන්දාගේ නිවසට යන්න කරාපිටිය බස් රථයකට ගොඩවෙලා පිටුපසම් අසුනේ ඉදගත්තා. හිත කල්පනාවෙන බරවෙලා. අද ජීවිතේට එකතුවුනු සිංහල බ්ලොග් මිතුරන් හැමෝම මතක් වුනා..ජංගම දුරකතනය අතට අරං මූනු පොතේ මගේ සිතුවිල්ලක් සටහන් කලා...අද පුදුම දවසක්..ඇත්තටම හරි පුදුම දවසක්...එතකොටම බස්රථය අපේ මතක රැදුනු ගාලු නගරයෙන් පිටවෙන්න පටන් ගත්තා..මම බස් රථයේ පිටුපස වීදුරුවෙන් බැලුවා ‍ඓතිහාසික කොටුපවුර දිහා...ඈත කොටුපවුර ටිකක් කළුවර වෙලා වගේ ඒත් ඒ කළුවර අතරින් බනියා.කිඩෝ.හුස්නි.ප්‍රාර්ථනා.පොඩිමෑන්.හිම හංසි.කළු මල්ලි.පුමුඛ.වත් අක්කා කොටු පවුර උඩට වෙලා මට අත වනනවා වගේ මට පෙනුනා...අනේ ‍නොදැනීම මටත් අත වැනුනා....

20 comments:

  1. කෝ බං අර බවලත්තු දෙන්නා අපේ ගාල්ලෙ අහිංසක කොල්ලෝ තුන්දෙනෙක්ගෙ විළිසංගෙ නැති කරපු කතාව?

    මඩ මදි.

    ReplyDelete
  2. (හරි හරි, මේ වෙලාවෙ හැටියට වැඩිම මඩක් ගැහුවොත් අර සින්දුව කියන්ට බැරිවෙනවානෙ නේද?)

    අනේ මංදා...

    යට පේළි ටිකට +1

    ReplyDelete
  3. අපිටත් අමතක නොවෙන දවසක් අය්යේ.මඩ නම් වෑඩියි වගේ නේද?ඉන්නකො විභාගෙ ඉවර වෙනකම් මාත් දාන්න පෝස්ට් එකක්.මම ගෑන අරම මඩ ටිකක් දෑම්මට තෑන්ක් යු වේවා.

    ReplyDelete
  4. පගාව දුන්නා වගේ මං ගැන නම් ලස්සනට ලියලා.. :P

    ReplyDelete
  5. පට්ටායි අනේ දෙවනිදට ආපහු යන්න පුලුවන් නං

    ReplyDelete
  6. ස්තූතියි හැමෝටම

    ReplyDelete
  7. අනේ ඇත්තමයි මගේ ඇස් දෙකින් කඳුලු වැටුනා මේක කියවලා, හරිම ලස්සනයි, එදා දවසට යන්න ඇත්නම් ආයේ , හැමෝම එක්ක සතුටින් ඉන්න..

    ReplyDelete
  8. අනේ අනේ යකෝ !!!!!! ගාල්ලේ උබලම පෝස්ට් දාගෙන උබලම කමෙන්ට් දාගන්නවා නේහ් !!!! :)
    අවුලක් නෑ අවුලක් නෑ.

    හිටුකෝ මාත් තනියෙන් හරි ගම්පහ ගෙට්ටුවක් කරනවා. :)

    ඔන්න එහෙනම් ඔයාලගේ ගෙට්ටුවට මගෙනුත් සුබ පැතුම් !!!!

    ReplyDelete
  9. මධුරංග අයියා ගම්පහ ගෙට්ටුවක් කරනවනම් මාව අමතන්න..... මන් එන්නම්...

    ReplyDelete
  10. @මධුරංග

    කෝ ඉතින් අනිත් ඇවුං එනවායැ, ඉරිසියාවෙ පැලෙනවා මිසක :)

    ReplyDelete
  11. හප්පා..අපිත් මාතර. වත් අක්කා අපිට නොකියම ගිහින්.අපි තලායි...
    කොහොම වුනත් නියමයි .

    ReplyDelete
  12. අපරාදෙ එන්න බැරි උනානෙ..... බලමු ලබන පාරවත් .... :(

    ReplyDelete
  13. මේ සුන්දර ඉසව්ව ගැන රස විඳි දෙවැනි හෝ තුන් වැනි ලිපිය ...ඒත් ඒ හැම සටහනක්ම උණුසුම් , සොඳුරු බවකින් පිරිළ ...හරිම සතුටුයි දරුවනේ ...යෞවනයේ සුන්දරත්වය විඳින්නේ මෙහෙමයි කියල හැමෝටම කියල දෙනවාට...

    ගාල්ලේ මගෙනුත් ඔයාලා හැමෝටම සුබ පැතුම් ....

    ReplyDelete
  14. කට්ටිය හැමෝම දාපු සටහන් මම කියෙව්වා.. සටහනින් සටහනට අළුත් දෙයක් වැඩියෙන් මඩ පාරක් තිබුනා.. අන්තිමට දාපු අන්රේටඩ් වර්ශන් එකනම් සුපිරියි....

    ReplyDelete
  15. ඔන්න මගෙනුත් සුභ පැතුම් සහෝ... තාමත් ඔය වගේ හමුවකට සහභාගි වෙන්න බැරිවුනා. බලන්න ඕනේ එකක් සංවිධානය කරන්නවත් !!!

    ReplyDelete
  16. කොලබ උන්ගේ ආතල් එක ඉදිරියේදී බලාපොරොත්තු වන්න :)

    ReplyDelete
  17. ගාලු හමුවේ සියළු පොස්ට් අතරින් වැඩිම මඩ සහිත පොස්ටුව ලෙසින් දැනට ඉදිරියෙන් ඇති පොස්ටුවයි..හුරේ..තව කවුරු හරි ඉන්නවද මිට වඩා මඩ ගහන්න පුළුවන්...lol..:P
    @චාටර් කොල්ලා -: common malliya ...:)))

    ReplyDelete
  18. හොඳ වෙලාවට මම ආවෙ නැත්තෙ. නැත්ත්නං ඔක්කොටම කලින් රෙදි ගැලවෙන්නේ මගේ ''

    ReplyDelete
  19. මාත් ගාල්ලේ කොල්ලෙක්. මටත් ආඩම්බරයි වැඩේ ගැන...
    (මහින්දෙ තමයි ඉස්කෝලේ)

    ReplyDelete
  20. මාත් ගාල්ලේ කොල්ලෙක්. මටත් ආඩම්බරයි වැඩේ ගැන...
    (මහින්දෙ තමයි ඉස්කෝලේ)

    ReplyDelete